Thursday, December 5, 2013

සුබ උපන් දිනයක් අමරදේවයනි.. The Best of Special


වචනයට යා හැකි දුර ගෙවා නවතින තැන කොතැනද එතැන සංගීතයේ උපතයි.  -ඩේව්ඩ් රැන්ඩොල්ෆ්-

සැබෑ කලාකරුවා භෞතික වශයෙන් කොතරම් අඟහිඟ කම් වලට අඩුපාඩු වලට භාජනය වී සිටින තැනැත්තෙකු වුවත් සිතින් අප්‍රමාණ නිදහසක් භුක්ති විඳින්නේය. ඔහු තුළ උත්පාද වන කලාව තම සහජ හැකියාව අනුව තමා ලබා ඇති අධ්‍යාපනය හා ශිල්ප ඥාණය අනුව ක්‍රියාත්මක වෙයි. ඔහු කරන සෑම දෙයකම අපූර්වත්වයක් වෙයි. ඔහු තුළ පවත්නා නිදහස සැමවිටම සිය කෘතිය තුළින් ජන ගත වීම වැලැක්විය හැක්කේද?

රටකට එවැනි එක් කලාකරුවෙක් හෝ සිටී නම් එය එම රටේ අප්‍රමාණ භාග්‍යයකි.

ඒ මහා ගාන්ධර්වයා උපන්නේ මොරටුව කොරළ වැල්ලේ..

වන්නකු වත්ත වඩු ගේ දොන් ජිනෝරිස් බාස් උන්නැහේට සහ බාලපු වඩුගේ මැගී වෙස්ලියානු මැන්දිස් මැතිණියට දාව පවුලේ හය වන දරුවා ලෙසයි. ඒ වර්ෂ එකදහස් නවසිය විසි හතේ දෙසැම්බර් පස් වනදා.

වඩු කාර්මිකයෙකු වූ පියා බෞද්ධයෙකු වීමත් මව කතෝලික තැනැත්තියක් වීමත් නිසා බෞද්ධ හා කතෝලික හර පද්ධතීන් මිශ්‍ර වුණු පවුලක ජීවත් වීමේ හැකියාව නිතැතින්ම ඔහුට ලැබුණා.

මේ දරුවා කුඩා කලම සංගීතය කෙරෙහි යොමු කරන්නේ මොරටුමුල්ල වඩු කාර්මික විද්‍යාලයේ වයලීන නිපදවන්නෙකු හා අලුත්වැඩියා කරන්නෙකු වූ ඔහුගේ පියා විසිනි.
කුඩා කළ තම මවගේ ස්තෝත්‍ර ගායන වලට හිතු මනාපයේ වයලීනයේ තත් හඬවන්නට ඔහු පුරුදුව සිටියා. ඔහුගේ වැඩිමහල් සොහොයුරා විසින් ඔහුට ඉන්දියානු ශාස්ත්‍රීය සංගීතය උගන්වනු ලැබීම සංගීත ජීවිතය ඔපවත් වීම සදහා පවුලෙන් ලද තවත් පිටුවහලක් වුණා. වයස අවුරුදු හත වන විට ජපන් ටින් වයලීනයක් පියාගෙන් ලද ත්‍යාගයක් වශයෙන් ඔහුට සතුවුණා.

කොරළවැල්ලේ විහාරස්ථානයේ මාලාලංකාර නායක තෙරණුවන් යටතේ ස්වකීය මූලික අධ්‍යාපනය ලබන මේ දරුවාගේ සංගීත ප්‍රතිභාවේ අපූර්වත්වය දුටුවන්, විහාරස්ථානයේ කවි හා ගාථා ගායනා කිරීම සඳහා ආරාධනා කළා. අනතුරුව තම ගමේ ගීතිකා කණ්ඩායමේ නායකත්වය දැරීමටද ඔහුට හැකියාව ලැබුණා.

ශ්‍රි සද්ධර්මෝදය බෞද්ධ මිශ්‍ර පාසලට ඇතුළත් වී අධ්‍යාපනය ලැබීම ඇරඹි ඔහු, මොරටු විද්‍යාලයෙන් පවත්වන කවි ගායනා තරගයකින් ජයග්‍රහණය ලබන්නේ මේ අතරදී.

කොළඹ කලා සංගමය විසින් මෙහෙය වූ ගායනා තරගයකින් ජයග්‍රහණය ලැබීමට මේ සිසුවා නායකත්වය දැරූ පාසල් ගායක කණ්ඩායමට හැකියාව ලැබුණා. මෙම ජයග්‍රහණ වලින් උද්දාමය ලද ඔහුගේ පාසල් ගුරුවරු, ඔහුව ලංකා ගුවන් විදුලි සේවයෙහි ගායක මඩුල්ලට ඇතුලත් කිරීමට ක්‍රියා කළා. මේ අන්දමින් දක්ෂතා ප්‍රදර්ශනය කරන නව යොවුන් තරුණයා, 1945 වර්ෂයේදී ජන කලා මණ්ඩලය විසින් පවත්වන ලද ගායනා හා වයලීන වාදක තරගයකින් රන් පදක්කම දිනා ගැනීමට තරම් බුහුටි වෙනවා.

තම ප්‍රාථමික අධ්‍යාපනය නිමා කිරීමෙන් අනතුරුව ඉංග්‍රීසි භාෂාව සදහා ලද ශිෂ්‍යත්වයකින් පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයට ඇතුළත් වීමේ හැකියාව ඔහුට ලැබෙනවා. එහිදී විදුහල්පති ඩැනිස්ටර් තෝමස් ප්‍රනාන්දු මහතා සමග දැන හැඳුනුම් කමක් ඇති කරගන්නා ඔහු, එම මහතාගේ උපකාරීත්වයෙන් කළුතර විද්‍යාලයටත් ඉන් අනතුරුව, බලපිටිය සිද්ධාර්ථ විද්‍යාලයටත් ඇතුළත්ව අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව උදා කර ගනියි.

මෙකලදී "අශෝකමාලා" චිත්‍රපටයේ රූගත කිරීම් ඇරඹෙන අතර, මොරටුවෙහි ජෙරාඩ්.ජේ.පීරිස් නැමැත්තෙකු විසින් එම චිත්‍රපටයේ සංගීතය මෙහෙය වූ, මොහොමඩ් ගවුස් මාස්ටර් වෙත මේ අපූර්ව තරුණයා හඳුන්වා දෙනු ලබනවා.
එකී ශක්‍යතාවන් හඳුනාගන්නා ගවුස් මාස්ටර් විසින් තම වාදක මණ්ඩලයේ ප්‍රමුඛතම වයලීන වාදක ශිල්පියා බවට මේ තරුණයා නම් කරනවා.

තම ඉගෙනීමේ කටයුතු අහවර කරන අතරෙම, මොහොමඩ් ගවුස් සමග එක්ව, චිත්‍රපටයක වැඩ සඳහා ඉන්දියාව බලා යන්න ඔහුට හැකි වෙනවා. "ඇයි යමෙකු කලේ ආලේ" ගීතය සදහා ගායනයෙන්, නර්තනයෙන් හා රංගනයෙන් යන ත්‍රිවිධ අංශයෙන්ම දායක වීමට මේ කුසලා පරිපූර්ණ තරුණයා මෙහිදී සමත් වෙනවා.

ඉන්දියාවේ ලක්නවු නුවර බාත්ඛන්ඩේ අධ්‍යානායතනයෙහි ලැබූ ඥානමය පරිචයත් සමග, ලංකා ගුවන් විදුලියෙහි නිත්‍ය ගායකයෙකු ලෙස සේවයට එක් වීම තුළින්, ස්වකීය ප්‍රතිභාව හා දැක්ම මින් පෙර නොවූ තරම් වූ වඩා පුළුල් ශ්‍රාවක ගහණයක් වෙත සම්ප්‍රේශණය කිරීමේ හැකියාව ඔහුට උදා වුණා. බාත්ඛන්ඩේ අධ්‍යයනායතනයෙහිදී ලබන සතතාභ්යාසයන්ගේ දැනුම ලද අප මෙතෙක් කතා කළ යෞවනයා අන් කිසිවෙකු නොව, දොන් ඇල්බර්ට් පෙරේරාය.

එහෙත් ඉන්දියාවේ සිට ලංකාවට කිසි දිනෙක දොන් ඇල්බට් පෙරේරා පැමිණියේ නැක. පැමිණෙන්නේ පණ්ඩිත් වනක්කු වඩුගේ දොන් අමරදේවයන් ය. අමරණීය ආත්මයක් ලද දේවයාණන් යන අර්ථය ලද මේ නාමයෙන් ඔහු නම් තැබුවේ මහාචාර්යය එදිරිවීර සරච්චන්ද්‍රයන්ය.

ස්වාධීන ජාතියක් ලෙස නිදහස ලැබූ මුල්ම අවදිය වූ එම කාලයේ ශ්‍රි ලාංකේය අනන්‍යයතාවක් සහිත සංගීත විදිය නම් කවරක්ද යන ගැටළුව, සමාජීය ප්‍රාඥයන්, කලාකරුවන් සහ පොදු මහජනතාව අතර විමසීමට බඳුන් දුන් තත්වයක් වුණා. මෙම තත්වයන්ට අනුකූලව, ස්වදෙශික ජන සංගීතය සමග,  ඉන්දියාවෙදී හැදෑරූ සංගීතයත් ඇසුරුකොට ගෙන වඩා සුඛනම්ය වූ සංගීත වහරක් මතුකොට ගැනීමට අමරදේව නම් වූ ඔහු සමත් වුණා.

දකුණු ඉන්දියානු සහ ද්‍රවිඩ සංගීත ආකෘති පිළිබද  කළ පර්යේෂණාත්මක හැදෑරීම් හරහා  ඔහුගේ සංගීත භාවිතාවේ නව මානයන් ඉදිරිපත් වුණා. ශ්‍රි ලංකාවේ අසහාය ගේය රචකයෙකු වූ මහගම සේකරයන් හා එක්ව, අමරදෙවයන් විසින් තනන ලද ස්වර රචනා ශාස්ත්‍රීය සිංහල පද්‍යයේ ස්වර විභේදනයන් පිළිබඳ වූ ඔහුගේ අනන්‍ය ප්‍රතිභාව ගවේෂණය කරන්නක් වුණා.

මේ වන විට ඔහුගේ සංගීත භාවිතාව සමස්ත ජාතියක භාවමය ආත්මය ප්‍රවර්ථනය කරන්නක් බවට පත්ව තිබෙනවා.

කාව්‍යමය නාට්‍ය , චිත්‍රපටි, නුර්ති ආදී නේක දෘෂ්‍ය කෘතීන්ට මෙන්ම ගුවන් විදුලි හා රූපවාහිනී වැඩසටහන් වෙනුවෙන් ගීත දහස් ගණනක් ගායනා කිරීමට ඔහුට හැකියාව ලැබුණා.

විමලා නම් වූ සිය ආදරියගේ කුස තුළ රන්ජන නමින් අනාගත දක්ෂ සංගීතවේදියෙක් වූ පුතෙකුද සුභානි සහ ප්‍රියන්වදා නමින් ගායනයට උපන් හපන් දියණිවරැ  දෙදෙනෙකුද ඇති කළ ඔහු අදටත් ලක් කලා කෙත අස්වද්දන සිහිල් දිය දහර අතර විරාජමාන මහවැලිය වන්නේය.

විටෙක වාදකයෙක් , තව විටක සංගීතඥයෙක් මෙන්ම, තවත් මොහොතක අපූරු ගායකයෙක් වූ ඔහු සදාතන අමරණීය සලකුණකි.

අමරදේවයන් අබිභවා යාමට කෙනෙකුට උවමනා වෙත් නම් ජන ජනප්‍රිය සුභාවිත ත්‍රිත්වයම හිස්තැන් රහිතව අනාගත වසර සියයකට ඉදිරියෙන් අතික්‍රමණය කළ යුත්තේය. ඒ තරමටම ඔහු සිටින්නේ ඉදිරියෙනි. පොදු ජන නාදයද, බර සාර වාග් කෞෂල්‍යද, සරළත්වයේ මායිමද එකසේ ස්පර්ෂ කළ ඔහු, නිදහසද, යුද්ධයද සෞභාග්‍යද පොදු ජන ගැටලුද සංගීතයෙන් දකිමින් තවමත් නිරෝගීව ලක් පොළවේ දිවි ගෙවීමම අප ලද භාග්‍යක් නොවන්නේද?

අද සිය 86 වැනි ජන්ම කඩඉම පසු කරමින්, ඔහු රසික අප දෙස බලා වියපත් මනසින් තුරුණු දෙනෙතින් හිනැහෙන්නේය.

ඉඳන් මුණුපුරු පරපුරේ අප වෙනුවෙන් හෙට දවසේ මෙතෙක් ඔහු නොගැයූ හොඳම ගීතය ගායනා කරනු ඇත...

අද බස් රේඩියෝ බෙස්ට් ඔෆ් රසාලිප්ත සංගීතයෙන් කුළු ගැන්වෙන්නේ, ඒ නිර්මල උත්තරීතර අමරණීය කටහඬයි. අමරදේවයනි, ඔබට චිරං ජයතු.

හඬපටය මෙතැනින්




Share this post
  • Share to Facebook
  • Share to Twitter
  • Share to Google+
  • Share to Stumble Upon
  • Share to Evernote
  • Share to Blogger
  • Share to Email
  • Share to Yahoo Messenger
  • More...

1 comments

  1. Three pivotal factors need to be given priority while you
    have made up your mind to purchase a printer having
    wireless connectivity. In order to accomplish this, you must have a cable
    connection running directly from the printer to
    the server; be advised this puts limitations as to where the printer
    can be placed. Wireless technology has come a long ways
    in the last few years.

    Review my webpage - wireless printer

    ReplyDelete

:) :-) :)) =)) :( :-( :(( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ :-$ (b) (f) x-) (k) (h) (c) cheer

 
© 2011-2013 ♪♫♪♫♪ Buzz Radio [Official Blog] ♪♫♪♫♪
Posts RSSComments RSS Back to top